free web stats

අන්තර්ජාලය හරහා ළමුන් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාවක්

අන්තර්ජාලය හරහා ළමුන් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

තාක්ෂණික වශයෙන් දියුණු වර්තමාන සමාජය තුළ පාසල් දරුවන් බහුලව සමාජ මාධ්‍ය භාවිත කළද, ඇතැම් අවස්ථාවලදී ඒවායේ පවතින අවදානම් පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයකින් තොරව කටයුතු කරන බව ඔහු පෙන්වා දුන්නා.

අන්තර්ජාලය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ රැසක් සිදුවන බවත්, ඒ හේතුවෙන් පාසල් යන වයසේ පසුවන දරුවන් අපරාධකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

විශේෂයෙන්ම පාසල් නොයන දරුවන් විවිධ අපරාධ සඳහා මෙන්ම මත්ද්‍රව්‍ය ජාලවල සැපයුම් කටයුතු සඳහා ද යොදා ගැනීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නා.

එම දරුවන් අපරාධ සඳහා යොදා ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය යොමුව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, පසුගිය කාලසීමාව තුළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ද මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි සහ තොරතුරු විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ඔහු පැවසූවා.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙසේද පැවසූවා.

“විශේෂයෙන්ම තාක්ෂණික වශයෙන් දියුණු වර්තමාන සමාජයේ සමාජ මාධ්‍ය බහුලව භාවිත කරන පාසල් දරුවන් ඇතැම් අවස්ථාවලදී ඒවා භාවිත කරන්නේ ප්‍රමාණවත් අවබෝධයකින් තොරවයි. අද වන විට අන්තර්ජාලය හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ රැසක් සිදුවෙනවා. විශේෂයෙන්ම පාසල් වයසේ දරුවන් මේ අපරාධකරුවන්ගේ ප්‍රධාන ගොදුරු බවට පත්වෙලා තිබෙනවා. පාසල් නොයන දරුවන් ද විවිධ අපරාධ සඳහා යොදා ගැනීමට අපරාධකරුවන් ඉලක්ක කරනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාලවල සැපයුම් කටයුතු සඳහා යොදා ගැනීමට ඉලක්ක කරන පිරිසක් බවට පාසල් නොයන දරුවන් පත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය යොමුව තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත මේ ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි සහ තොරතුරු විශාල ප්‍රමාණයක් වාර්තා වුණා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *