ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ නැවතත් පාකිස්තානය පරදයි
අවුරුදු 19න් පහළ තුන්කොන් ක්රිකට් තරගාවලියකට එක්ව සිටින චමුදි ප්රෙබෝධා (බට්ටි) ප්රමුඛ ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ පිට පිට දෙවැනි වරටත් පාකිස්තානය පරාජය කිරීමට ඊයේ සමත් ව්ය.
ෆයිස්ලාබාද්හිදී පැවැත්වෙන මේ තරගාවලියේ 8 වැනි තරගය වූ මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන පිල ලකුණු 105කට සීමා කළ ශ්රී ලංකා ක්රීඩිකාවෝ ඕවර 13.3ක් පමණක් වැය කරමින් ජයග්රහණය තහවුරු කර ගත්තා.
යළිත් වරක් ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ ආරම්භක පිතිකාරිනි සංජනා කාවින්දි හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 46ක් රැස් කරමින් ඉනිමට වේගවත් ආරම්භයක් දුන්නේ පන්දු 28ක් පමණක් වැය කරමිනි. නෙත්මි උපේක්ෂා සහ ලිමංසා තිලකරත්න ලකුණු 16 බැගින් ඉනිමට එක් කළා.
ලකුණු 24ක් රැස් කළ ෂහාර් බානෝ පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලිමංසා තිලකරත්න ලකුණු 14කට කඩුලු 3ක් බිඳ දැමුවාය. යෂේලි ජිතාරා කඩුලු 2ක්, නෙත්මි උපේක්ෂා සහ චමුදි ප්රබෝධා කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ දක්ෂතම ක්රීඩිකාව ලෙස ලිමංසා තිලකරත්න සම්මාන දිනා ගත්තා.
බංග්ලාදේශයත් එක්වන සිටින මේ තරගාවලියේ ඊයේ තරගයට පෙරම පාකිස්තානයට අවසන් තරග වරම් අහිමි වී තිබූ අතර, මේ වන විට ශ්රී ලංකා පිල ජයග්රහණ 4ක් සමඟ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී. ශ්රී ලංකාව සමඟ තරග 3ක් ජයගෙන ඇති බංග්ලාදේශය කලින්ම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.
මේ තරගාවලියේ මූලික වටය නිමා කරමින් ශ්රී ලංකා පිල හෙට (14) බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතයි.

