අලි- ඇතුන් රැකගන්න කාර්ය සාධන බළකායක් ඕනෑ
අලි – ඇතුන් සුරක්ෂා කිරීමට කාර්ය සාධන බළකායක් ස්ථාපිත කර යුතු බවද විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සියඹලාන්ගමුවේදී මියගිය කාවන්තිස්ස මහ ඇතාට අවසන් ගෞරව දැක්වීමට පෙරේදා (17) එම ස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.
රටේ තරුණ පරම්පරව ද එකතු කරගෙන අලි ඇතුන් ආරක්ෂා කිරීමේ වැඩසටහනකට විපක්ෂ නායකවරයා ලෙස නායකත්වය ලබාදෙන්න සූදානම් බවත් කාවන්තිස්සගේ මියයෑම ගැන විනිවිදභාවයෙන් යුක්තව දේශීය හා විදේශීය විශේෂඥයන් මූලික කර ගෙන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් පැවසූවා.
ඒ තුළින් නිවැරදි කරුණු අනාවරණය කළ හැකි නිසා දේශීය හා විදේශීය විශේෂඥයන්ගෙන් සමන්විත මරණ පරීක්ෂණයක් කඩිනමින් පැවැත්විය යුතු බවත් විපක්ෂනායකවරයා පැවසූවා.
පරිසරවේදියකු හා සත්ත්වවේදියකු ලෙසත් වනජීවී ඡායාරූප ශිල්පියකු ලෙස තමාට ඇති අත්දැකීම් අනුව කාවන්තිස්ස යනු වනයේ ජීවත් වන සාමාන්ය ඇතකු නොව වනයේ සිටින මහසෙන්, අග්බෝ, සැන්ඩෝ වැනි විශාලම ඇතුන් අතරින් එක් ඇතකු බවත් වසර ගණනාවකට පෙර මේ ඇතා සියඹලාන්ගමුව වැව් ඉස්මත්තේදී හමුවූ අවස්ථාවේදී තමා විසින්ම මොහුට කාවන්තිස්ස ලෙස නම් තැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසූවා.
අපේ රටේ ඇත් පරපුර දුර්ලභ පරපුරක් වන බවත් ප්රධාන වශයෙන් ආසියා අලි හා අප්රිකානු අලි අතර අප්රිකානු පිරිමි, ගැහැනු යන දෙකොට්ඨාසයටම දළ ඇති මුත් ආසියාතික අලියාගේ අලියාගේ දළ ඇත්තේ පිරිමි අලියාට පමණක් බවත් පෙන්වා දුන්නා.
ඉන්දියාවේ පිරිමි අලින්ගෙන් 80%කට දළ එන නමුත් අප රටේ 7-8% ප්රමාණයකට දළ එන බවත් එම නිසා අලි මිනිස් ගැටුමට විධිමත් විසඳුම් ලබාදී වනජීවී ක්ෂේත්රය, පශු වෛද්ය ක්ෂේත්රය භෞතික හා මානව සම්පත්වලින් ශක්තිමත් කළ යුතු බවත් ජාත්යන්තරව ආධාර ගෙන අලින් සහ සතුන් වෙනුවෙන් ප්රතිකාර කරන්න වෙනමම රෝහලක් ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂනායකවරයා පැවසූවා.
කාවන්තිස්සගේ මරණය අලි මිනිස් ගැටුමේ එක්තරා ප්රතිඵලයක් බවත්, වගකිවයුත්තන් ලෙස අලින්ට වෙඩි තියන්න කියා කිසිදා උනන්දු නොකළ යුතු බවත් කෘෂි කර්මාන්තයේ නියැළී සිටින ගොවි ජනතාව පවා ආරක්ෂා කරගත යුතු බවත් දැන්වත් අලුත් වැඩපිළිවෙළක් ක්රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසූවා.
ඇතුන් සුරක්ෂා කරන කාර්ය සාධන බළකායක් දැන්වත් ස්ථාපිත කළ යුතු අතර මීට පෙර ද තමා මෙවැනි යෝජනාවක් කළත් එය බීරි අලින්ට වීනා වාදනය කරන්න වගේ රජය නොසලකා හැරිය බවත් පැවසූ අතර එසේම තවදුරටත් මෙවැනි ඇතුන් අහිමි කරගන්න නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කියා සිට්යා.

