සවුදියේ ආරක්ෂාව වෙනුවෙන් පාකිස්තාන පෙරට
සවුදි අරාබියේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ කලාපීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා පාකිස්තානය පෙනී සිටින බව පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් ප්රකාශ කර තිබෙනවා.
සවුදි අරාබිය හා තුර්කිය සමඟ ඇතිකරගත් ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම කලාපයේ සාමය, එක්සත්භාවය හා ස්ථාවරත්වය උදෙසා තැබූ ඓතිහාසික පියවරක් බව ද ඔහු සඳහන් කර ඇතැයි ඇරබ් නිවුස් පුවත් වාර්තා කළා.
පාකිස්තාන අගමැතිවරයා පසුගියදා එම ආරක්ෂක ගිවිසුමේ මහලේකම් ලුතිනන් ජෙනරාල් නවුමාන් මහමුද් හමුවූ අවස්ථාවේදී මේ ප්රකාශය සිදුකළ බව ඇරබ් නිවුස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
කෙසේ වෙතත් සවුදි අරාබියට සහය කරමින් හවුති කැරලිකරුවන්ට එරෙහි ප්රහාරවලට පාකිස්තාන හෝ තුර්කි හමුදා මෙතෙක් නිල වශයෙන් එක්වී නැති බව ද වාර්තා වේ.
මේ වන විට පාකිස්තාන හමුදා සෙබළුන් අටදහසකට ආසන්න පිරිසක් රැඳී සිටින අතර, ප්රහාරක ගුවන්යානා හා ගුවන් ආරක්ෂණ පද්ධතීන් ද ස්ථාපිත කර තිබේ.
එහෙත් එම හමුදා කණ්ඩායම් යොදවා ඇත්තේ ආරක්ෂක ගිවිසුම අත්සන් තැබීමට මාස 5කට පමණ පෙර බවත්, එය දෙපාර්ශ්වය අතර පසුගිය වසරේදී ඇතිකරගත් උපායමාර්ගික ආරක්ෂක ගිවිසුමට අනුව සිදුවූ බවත් විදෙස් මාධ්ය සඳහන් කරයි.
සවුදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවට පාකිස්තානය ප්රකාශ කළද, ඉරානය සමඟ පවතින සමීප මිත්රත්වයත්, සම්බාධක මඟ හරිමින් ඉරානයට සැපයුම් සේවා ලබාදීමට ඉදිරිපත් වීමත් හේතුවෙන් ඉරාන හිතවාදී කැරලිකරුවන්ට එරෙහිව හමුදාව යෙදවීමට පාකිස්තානය කටයුතු නොකරනු ඇතැයි ද වාර්තා පළ වී තිබෙනවා.

