free web stats

සුනඛයන් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අනුමැතිය

ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ එකඟතාවට යටත්වයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අදාළ කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පත පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

දැනට ක්‍රියාත්මක පැරණි ආඥාපනත් දෙකක් ඉවත් කර නව නීතිමය රාමුවක් හඳුන්වාදීම මෙහි ප්‍රධාන අරමුණයි.

සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීමේ නිශ්චිත වයස් සීමාව පැහැදිලිව දැක්වීම සහ ලියාපදිංචි කිරීම විධිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

එමෙන්ම, වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර සහ ප්‍රතිකාර ලබාදෙන පුද්ගලයන් එම සුනඛයන්ගේ නීත්‍යනුකූල හිමිකරුවන් ලෙස සලකා ඔවුන් මත නීතිමය වගකීම් පැවරීම වැළැක්වීම සඳහා විධිවිධාන පැහැදිලි කිරීමට ද කාරක සභාව තීරණය කළා.

මීට අමතරව හෝමෝන එන්නත් භාවිතයේ පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, සත්ව සුභසාධනය තහවුරු වන පරිදි පශු වෛද්‍ය අධීක්ෂණය යටතේ ශල්‍යකර්ම මඟින් සුනඛ වන්ධ්‍යාකරණය සිදු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණා.

වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කරන මධ්‍යස්ථාන නියාමනය ශක්තිමත් කිරීමටත්, ලියාපදිංචි කිරීම පැහැර හැරීම සහ සත්ව හිංසනය වැළැක්වීම සඳහා පනවා ඇති දඩ මුදල් හා දඬුවම් සංශෝධනය කිරීමටත් කාරක සභාවේදී යෝජනා වී තිබෙනවා.

මෙම රැස්වීම සඳහා කාරක සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *