free web stats

ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන්න සියල්ල සීරුවෙන්

පවතින වැසි තත්ත්වය හමුවේ ඇති වන ආපදා තත්ත්වයන් සඳහා මුහුණදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ, බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිව තිබෙන පීඩන අවපාතය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අනාවැකි සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමිනි.

ඒ අනුව උතුර, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඒ හේතුවෙන් මෙම සියලු ප්‍රදේශවලට උපකරණ සහ මුදවාගැනීමේ කණ්ඩායම යොමු කර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා අවධාරණය කළා.

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද දින (25) පෙරවරු 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඇත.

මෙම පද්ධතියට මේ වනවිට උතුරු අක්ෂාංශ 15.1° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙය බෙංගාල බොක්කේ නැගෙනහිර – මධ්‍යම සහ ඊට යාබද ගිනිකොන දිග ප්‍රදේශ හරහා නිරිත දෙසට ගමන් කර ක්‍රමයෙන් හැරී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් මෙම පද්ධතිය ඉදිරි දිනවලදී තවදුරටත් තීව්‍ර වීමට නියමිතයි.

ඒ අනුව, හෙට 26 වන දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, අනිද්දා (27) වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර – මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් බවටත් එය වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහයක් දිවයින හරහා ක්‍රියාත්මක වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපය තුළදීද බලාපොරොත්තු විය හැක.

උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් ඇත.

ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්‍රමාණයක තද සුළං ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *