මමයි සජිතුයි හැප්පෙනවා
සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ. අපි දෙන්නා හම්බන්තොට අවුරුදු ගාණක් එකට දේශපාලනය කළා. එයා ඒ පක්ෂයේ, මම මේ පක්ෂයේ. ඒ හැම පාරකම මම හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. එතුමා දැන් කොළඹ දිස්ත්‍රික්කයට ඇවිත් ඉන්නවා. ඔහුගේ තාත්තයි මගේ තාත්තයි හැප්පුනා. මමයි සජිතුයි හැප්පෙනවා” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසුවා.
“පිල්ලෙයාන්ගේ කටඋත්තරය ගන්න ගිය මහත්තයා ඇයි වරෙන්තුකරුවෙකුගෙන් ප්‍රකාශයක් අරන් ඔහුව අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියන ප්රශ්නය මට අහන්න තියෙනවා.
ඒ ප්රශ්නය අහන්න මට කටඋත්තරයක් ගන්න එන්න කියනකල් මම මේ බලාගෙන ඉන්නේ. වරෙන්තු මත සිටින අයෙක් තානාපති කාර්යාලයකට ගෙනල්ලා ඔහු අත්අඩංගුවට නොගෙන කටඋත්තරයක් ලියා ගත්තේ කොහොමද කියන ප්රශ්නය අපිට තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා ආව වෙලාවේ ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක මණ්ඩලයට ඒ බව දැනුම් නොදී ඇයි ෆයිල් එක හංගගෙන හිටියේ කියන ප්‍රශ්නයත් මට අහන්න තියෙනවා.
ජනතාවට දුන්න පොරොන්දු ඉටුකර ගැනීමට නොහැකිව ආණ්ඩුව අද ජනතාව මත අසීමිත ආර්ථික පීඩනයක් පටවමින් සිටිනවා. ජීවන වියදම දිනෙන් දින ඉහළ යනවා. විදුලි බිල, ඉන්ධන මිල, ජල බිල සම්බන්ධව අද විශාල කතිකාවක් ජනතාව අතර ගොඩනැඟී තිබෙනවා. මෙවැනි කාල සීමාවකදී ආණ්ඩුව ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට කටයුතු කරනවා වෙනුවට පැහැදිලිවම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් මේ ආත්මයට වෙන කෙනෙකුට ආණ්ඩුව නොදෙන බවට අභියෝග කරනවා.
ආණ්ඩුව මේ අභියෝගය කරන්නේ අපිට නෙවෙයි ජනතාවටයි. වැඩ කරලා, ජීවන වියදම් අඩු කරලා, රැකියා උත්පාදනය කරලා, ආයෝජකයෝ ගෙනල්ලා, සම්බුද්ධ ශාසනයත් බුද්ධ ධර්මයත් ආරක්ෂා කරලා ආණ්ඩුව මෙවැනි ප්‍රකාශ කරනවා නම් ඒක යම්කිසි ආකාරයකට සාධාරණයි කියලා හිතන්න පුළුවන්. ඒ මොකුත් නොකර ජනතාව මත දිනෙන් දින පීඩනය පටවලා ඒ පීඩනයට විරුද්ධව ජනතාව කතා කරද්දී ආණ්ඩුව බලහත්කාරයෙන් හරි අපි බලයේ ඉන්නවා කියන්නේ පුරවැසියන්ට තර්ජනය කිරීමක්.
අද මේ ආණ්ඩුව රුපියල් ට්‍රිලියනයක් ගිණුමේ තියාගෙනත් ජනතාව මත පීඩනය පටවනවා. කොවිඩ් වසංගතයත් එක්ක එදා මුළු ලෝකයම වැසී තිබුණා. සංචාරකයෝ රටට ආවේ නැහැ. කර්මාන්ත වැහුණා. එසේ තිබියදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ආරක්ෂා කරමින්, ගොවි ජනතාව ආරක්ෂා කරමින් ආණ්ඩුව කටයුතු කළා.
කන්න දෙකකට පොහොර නිකන් දුන්නා. අද මැදපෙරදිග යුද්ධයක් නිසා ගොවි ජනතාවට සාධාරණ මිලකට පොහොර ලැබෙන්නේ නැහැ. එදා කොවිඩ් අවස්ථාවේ තරම් සංචාරක කර්මාන්තයට රට වැහිලා නැහැ. යම් පසුබෑමක් තියෙන බව අපි පිළිගන්නවා. කර්මාන්තශාලා වැහිලා නැහැ. එසේ තිබියදීත් ලෝකයේ වැඩිම ලංසුව දීලා තෙල් මිලට ගන්න තැනට ආණ්ඩුව පත්වෙලා.”

