කුට්ටිආරච්චි වැනි පිරිස් එක්ක නාමල්ට ජනාධිපති වෙන්න කවදාවත් බැහැ
ඡායා කැබිනට්ටුවේ ඇමැතිවරු සොයා දෙන දත්ත තොරතුරු රටට හෙළි කිරීමට සමඟි ජන බලවේගයේ දූෂණ විරෝධි බලවේගය කටයුතු කරන බව එහි කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා පැවසූවා.
ඒ මහතා මේ බව පැවසුවේ, සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (2) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසූවා.
‘සමගි ජන බලවේගය තුළ ඡායා කැබිනට්ටුවක් ක්‍රියාත්මක වෙනවා. එම ඡායා කැබිනට්ටුව හරහා ආණ්ඩුවේ වංචා, දූෂණ, හොරකම් හෙළි කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. සමගි ජන බලවේගයේ ඡායා කැබිනට්ටුවේ පිරිස බහලුම් වංචාව, මහා භාණ්ඩාගාරයේ වංචාව, ගල් අඟුරු වංචාව, වාහන ගෙන්වීමේදී සිදු කළ වංචාව ඇතුළු ආණ්ඩුවේ වංචා දූෂණ ගණනාවක් රටට හෙළි කරන්න කටයුතු කළා. ඡායා කැබිනට්ටුවේ ඇමැතිවරු සොයා දෙන දත්ත තොරතුරු රටට හෙළි කරන්න සමගි ජන බලවේගයේ දූෂණ විරෝධි බලවේගය කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ තොරතුරු අපට දිනපතා ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් පියවර ගන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා, රණසිංහ ප්‍රේමදාස මහතාගේ දරුවකු නොවන බව පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කර තිබෙනවා. එය පහත් බාල ප්‍රකාශයක්. පොදුජන පෙරමුණේ බංකොලොත්භාවය තිස්ස කුට්ටිආරච්චිගේ ප්‍රකාශයෙන් පැහැදිලියි. සජිත් ප්‍රේමදාස මහතා රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා බව රටේ සිටින සියලුම දෙනා දන්නා කාරණයක්. ඒ බව දන්නේ නැත්තේ තිස්ස කුට්ටිආරච්චි පමණයි. ඒ වගේම නාමල් රාජපක්ෂ මෙවැනි පහත් දේශපාලඥයන් ළඟ තියාගෙන සිටින්නේ ඇයි දැයි ප්‍රශ්නයක්.
කුට්ටිආරච්චි වැනි පිරිස් සමඟ නාමල් රාජපක්ෂට ජනාධිපති වෙන්න කවදාවත් බැහැ. ඒ වගේම රටේ ජනතාව අන්ත අසරණභාවයට පත් කළ පවුලකට බලය ලබා දෙන්න රටේ ජනතාව සූදානම් නැහැ. ඒ වගේම නාමල්ට දේශපාලන අනාගතයක් සකස් කර ගන්න අවශ්‍ය නම් බුද්ධිමත් පිරිසක් සමඟ වැඩ කටයුතු සිදු කරන්න.’

