චීන ජනපති ඇමරිකා නිල සංචාරයක
ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට පැමිණ තිබෙනවා.
ඇමරිකාවේ වේලාවෙන් 23 වනදා පස්වරුවේ වොෂින්ටන් නගරයේ තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණි බවයි විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතාගේ ආරාධනයකට අනුවයි, ජනාධිපති ෂී ජින්පිං මහතා මෙම රාජ්ය සංචාරයට එක්ව සිටින්නේ.
එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා, ෂී ජින්පිං මහතා සහ පෙං ලීයුවාන් ආර්යාව පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටීම විශේෂත්වයක්.
ෂී ජින්පිං ජනාධිපතිවරයා හා පෙං ලීයුවාන් ආර්යාව වොෂින්ටන්හිදී පිළිගැනීමට ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බව ට්රම්ප් මහතා එහිදී සඳහන් කර තිබෙනවා.
ෂී ජින්පිං මහතාගේ මෙම ඇමරිකානු සංචාරය සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන අවස්ථාවක් බවයි ඔහු ප්රකාශ කර තිබෙන්නේ.
ෂී ජින්පිං මහතා විශිෂ්ට රාජ්ය නායකයෙකු බවත් ඔහු සමග එක්ව පුළුල් අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂා කරන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
දෙරට අතර සබඳතා තහවුරු කරගැනීමට කැමැත්තෙන් පසු වන බව ද ඩොනල්ඩ් ට්රම්ප් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
එම අවස්ථාවේදී ෂී ජින්පිං මහතා ලිඛිත ප්රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, චීනය හා ඇමරිකාව යන දෙරටත්, දෙරටේ ජනතාවත් විශිෂ්ට බවයි.
දෙරටම හවුල්කරුවන් මිස ප්රතිවාදීන් බවට පත් නොවිය යුතු බව ද හෙතෙම සඳහන් කර තිබෙනවා.
චීන ජාතියේ දැවැන්ත පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම යනු ඇමරිකාවේ විශිෂ්ටත්වය යළි හිමි කර ගැනීමේ අරමුණට පටහැනි වීමක් නොවන බව චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
ට්රම්ප් මහතා පසුගිය මැයි මාසයේ චීනයේ නිල සංචාරයට එක් වූ අවස්ථාවේදී, “සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවය” ගොඩනැගීමට තමා හා එකඟ වී ඇති බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළා.
එමගින් දෙරටේ අනාගත සබඳතාව සඳහා උපායමාර්ගික මාර්ගෝපදේශයක් ලබා දී තිබෙනවා.
දෙරට එක්ව කටයුතු කළ යුතුයි.
ඒ අනුව, දෙරට අතර තරගකාරීත්වයක් තිබුණ ද, සහයෝගීතාවය මූලික කරගනිමින් එය නිසි අයුරින් හැසිරවිය යුතුයි.
මතභේද අවස්ථාවලදී නිසි පාලනයක් යටතේ, සාමකාමී බවින් යුත් ස්ථාවරත්වයක් ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවත් නව යුගයට සරිලන ලෙස දෙරට අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් ඉදිරියට කරා ගමන් කළ යුතු බවත් ෂී ජින්පිං මහතා කියා සිටියා.

