free web stats

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

බන්ධනාගාරගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (05) අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

වරෙන්තු නිකුත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) පස්වරුවේ නියෝග කළා.

අභියාචනාධිකරණය හමුවේ පවතින වරෙන්තුව හමුවේ අද (05) දින එම අධිකරණයට ඉදිරිපත් කරනලෙස නියෝග කළ අතර කොළඹ මහාධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා හෙට (06) දිනයේ කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරුණා.

ඊට අමතරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මුවේ පවතින වරෙන්තුව සහා උන්වහන්සේ ලබන බදාදා (07) එම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයටගත් අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයේ අවසර නොගෙන ඇමතීම සහ අධිකරණයට බාධා වන ආකාරයෙන් හැසිරෙමින් අධිකරණයට අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ල විභාග කළ එවක අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් 2018 වසරේ මැයි 24 වැනිදා, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට ඥානසාර හිමි වරදකරු කරමින් උන්වහන්සේට බරපතළ වැඩ සහිත වසර 19ක සිරදඬුවම් නියම කළේ එම සිරදඬුවම වසර 06කින් ගෙවී යන ආකාරයෙන්.

කෙසේවෙතත්, 2019 වසරේ මැයි 23 වනදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උන්වහන්සේට ජනපති පොදු සමාව ප්‍රදානය කළා.

ඊට එරෙහිව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් සැප්තැම්බර් මාසයේ විභාගයට ගැනීමෙන් පසු ඊට අදාළ තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් කළා.

ඒ, ඥානසාර හිමියන්ට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය නීතිය ඉදිරියේ බලරහිත බවට නියෝග කරමින්.

කෙසේවෙතත් පොදු සමාව බලරහිත වුවත් අධිකරණය හමුවේ පෙනී නොසිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබූ අතර එම මෝසම ඉකුත් 29 වැනිදා කැඳවනු ලැබුවා.

නොතීසි නිකුත් වී සිටි විත්තිකාර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එදිනත් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඒ අනුව විත්තිකාර හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළා.

උන්වහන්සේගේ විදෙස් ගමන්ද තහනම් කළ අධිකරණය අදාළ වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඔක්තෝබර් පළමුවැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කෙරුණා.

අදාළ වරෙන්තුව ප්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා (03) රාත්‍රියේදීයි.

ඒ, උන්වහන්සේ කළුතර, තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *