free web stats

ජනපතිට-කථානායකට ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීන්දුවක්

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) ප්‍රකාශ කළේය. එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් හතරක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කරමින් මෙම මේ බව ප්‍රකාශ කෙරුණා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවූවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නීතිඥ කොෂල්‍යා ජයවීර, ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් ගමගේ, නාගරික මන්ත්‍රී ශිරන්ත පෙරේරා විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතීඥවරු දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළා.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා අවලංගු කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව එහිදී සඳහන් කෙරුණේ. එසේම එහි සඳහන් ඇතැම් විධිවිධාන මඟින් ජනතාවගේ ඡන්ද අයිතියට බලපෑම් එල්ල වන බවටද පෙන්වා දෙන ලදි. එමඟින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව පෙත්සමෙහි සඳහන් වේ.

එම පනත් කෙටුම්පතේ ඇතුළත් ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් ලබා දෙන ලෙස නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස එහිදී ඉල්ලීමක් කළා.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වන්නේ දැනට තිබෙන පනතේ දුර්වලතා මඟහැර නව ඡන්දදායකයන්ට අවස්ථාව ලබාදී ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවයි.

මෙම පනත් කෙටුම්පත මඟින් සර්වජන ඡන්ද බලය ආරක්ෂා වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු වන බවත් ඒ මහතා පෙන්වා දුන්නා. ඒ අනුව මෙම පනත් කෙටුම් පත මඟින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති අතර සරල බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියෙන් මෙම පනත් කෙටුම්පත සම්මත කළ හැකි බව ඔහු සඳහන් කළා.

දෙපාර්ශ්වය විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පෙත්සම් සම්බන්ධ තීන්දුව ඉදිරි කාලයේදී ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට යොමු කරන බව විනිසුරු මඬුල්ල සඳහන් කළා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එරාජ් සිල්වා, නීතිඥ භූපති කහපිටිය සහ නීතිඥ රවුෆ් හකීම් යන මහත්වරු අධිකරණයේ පෙනී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *