තුර්කි ගුවන් යානය කටුනායකට ආරක්ෂිතව ගොඩ බස්වයි
උඩු ගුවනේදී කාර්මික දොෂයකට ලක්වූ තුර්කි ගුවන් සේවයට අයත් යානයක් අද(17) අලුයම ආරක්ෂිතව කටුනායක ගුවන්තොටුපලට ගොඩස්වනු ලැබුවා.
එලෙස ගොඩබස්වනු ලැබුවේ කටුනායක සිට තුර්කියේ ඉස්ථාන්බුල් දක්වා පියාසර කිරමින් තිබූ TK733 නැමති A330 වර්ගයේ ගුවන් යානයක් වේ.
මගීන් 202ක් හා කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු රැගත් ගුවන්යානය කටුනායක ගුවන්තොටුපලින් ඊයේ(16) රාත්‍රි 10ට ඉස්තාන්බුල් දක්වා ගුවන්ගත වී තිබුණා.
එහෙත් යානය ගුවන් ගත්වීමෙන් ටික වේලාවකට පසුව ගුවන් යානයේ රෝද පද්ධතිය ආශ්‍රිතව කාර්මික දෝෂයක් හටගෙන ඇති බව නියමුවන්ට වැටහී ගොස් තිබෙනවා.
ඒ අනුව යානය යළිත් කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීමට තීරණය කෙරුණ අතර එම අවස්ථාව වනවිට ගුවන් යානය ගමන් ගත්තේ හලාවතට අඩි 4000 ක් ඉහළ අහසේයි.
කෙසේ වෙතත් යානයේ ඉන්ධන දහනය කිරීම සඳහා ගුවන් යානය පැය දෙකකට අධික කාලයක් හලාවත අහසේ වට කිහිපයක් ගමන් කිරීමට සිදුවිය.
අනතුරුව එය කටුනායක ගුවන් තොටුපලට ආරක්ෂිතව ගොඩබස්වනු ලැබුවේ අද අළුයම 12.30 ට පමණයි.
යානය ගොඩබැස්වන අවස්ථාව වනවිට කටුනායක ගුවන් තොටුපොළ තුළ ගිලන් රථ , ගිනි නිවීම් රථ , වෛද්‍ය කාර්යය මණ්ඩල , ගලවා ගැනීමේ භටයන් මෙන්ම මීගමුව කළපුව තුළ ද විශේෂ බෝට්ටු සහ ගලවා ගැනීමේ භටයන් ස්ථාපිත කර තිබුණා.
යානය ආරක්ෂිතව ගොඩබැස්වීමෙන් අනතුරුව මගීන් ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කර තිබෙනවා.

