free web stats

ස්පාඤ්ඤ,ආර්ජන්ටිනා පාපන්දු තරගයට වෙච්ච දේ

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව අතර කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ Finalissima පාපන්දු තරගය අවලංගු කළ බව යුරෝපීය පාපන්දු සම්මේලනය ‘UEFA’ නිවේදනය කර තිබෙනවා.

ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව අතර මෙම සුවිශේෂී තරගය මාර්තු 27 වනදා දෝහා හි ලුසයිල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

පාපන්දු ලෝලීන්ට ලියොනල් මෙසී සහ ලැමීන් යමාල් මුහුණට මුහුණ හමුවන අයුරු දැකබලා ගැනීමට තිබූ අවස්ථාව මෙයින් අහිමි වී ගියා.

UEFA සඳහන් කළේ තරගය පැවැත්වීම සඳහා විකල්ප ස්ථාන කිහිපයක් යෝජනා කළ ද, ආර්ජන්ටිනාව එම විකල්ප ප්‍රතික්ෂේප කළ බවයි.

“කලාපයේ පවතින දේශපාලන වාතාවරණය හමුවේ මෙම තරගය පැවැත්විය නොහැකි බවට කටාර් බලධාරීන් සමඟ කළ සාකච්ඡාවලින් පසු තීරණය කළා. මෙවැනි කීර්තිමත් කුසලානයක් වෙනුවෙන් තරග කිරීමට කණ්ඩායම් දෙකට තිබූ අවස්ථාව මෙලෙස අහිමි වීම පිළිබඳව අප දැඩි කණගාටුවට පත් වෙනවා,”

යනුවෙන් UEFA ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

ඉරානයට එල්ල වූ අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සමස්ත ගල්ෆ් කලාපයටම බලපෑම් එල්ල වී ඇති අතර, ලොව කාර්යබහුලම ගුවන් ගමන් මධ්‍යස්ථානවල ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව, ආරක්ෂක හේතූන් මත මේ වන විට තරගාවලි කිහිපයක්ම අවලංගු කිරීමට සංවිධායකයින්ට සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *