කරච්චි නුවර සාප්පු සංකීර්ණයක් පැය 36ක් ඇවිළෙයි
පාකිස්තානයේ කරච්චි නුවර සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, 50කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කරනවා.
පසුගිය සෙනසුරාදා රාත්රියේ හටගත් ගින්න පාලනය කිරීමට ගිනි නිවන හමුදාවට පැය 36කට අධික කාලයක් ගත වී ඇති අතර, එම කාලය ඇතුළත සාප්පු සංකීර්ණය සම්පූර්ණයෙන්ම ගින්නට හසුවී ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයන් 22 දෙනකු රෝහල්ගත කර ඇති අතර, ගිනි නිවන හමුදාවේ සාමාජිකයන් ද ඒ අතර සිටින බව වාර්තා වේ.
ඊයේ වන විට තත්වය පාලනය කිරීමට ගිනි නිවන හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකය සමත්වුවද, ගින්නට මැදිවී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ ඊයේ දහවල් වන විටත් තොරතුරු වාර්තා වී නැත.
මහල් 5කින් සමන්විත ගුල් ප්ලාසා නමැති එම සාප්පු සංකීර්ණයේ කඩසාප්පු 1,200ක් පිහිටා ඇති අතර, සියලු කඩසාප්පු ගින්නෙන් විනාශ වූ බව වාර්තා වේ. සාප්පු සංකීර්ණයේ සිරවූ සිය ඥාතීන් පිළිබඳ තොරතුරු දැනගැනීමට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් ඒ අවට රැස්වී සිටින බවත්, මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදුවන බවත් ඩෝන් පුවත් සේවය සඳහන් කළා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, කරච්චි පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

