මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමඟ දුරකතනයෙන් කතා කරලා නෑ
බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමඟ දුරකතනයෙන් කතා කළ බව කියන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
බන්ධනාගාරයේදී අත්අඩංගුවට ගනු ලැබූ දුරකතන සිම්පත තමන් සමඟ දේශපාලන කටයුතු කළ අයකුගේ බැවින්, එහි තම අංකය තිබීම සාමාන්‍ය තත්ත්වයක් බවත්,බන්ධනාගාරයේ සිටින්නේ ඔහුගේ ඥාතියෙක් බවත් ඔහු සමඟ කිසිදු සබඳතාවක් තමන් පවත්වා නොමැති බවත් මුජිබර් රහුමාන් මහතා අවධාරණය කරයි.
මුජිබර් රහුමාන් මහතා ඒ සම්බන්ධයෙන් වැඩ්දුරටත් පැවසූවේ,
“රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට මා විසින් දුරකතන ඇමතුම් රැසක් ලබා දී ඇති බවට චෝදනාවක් එල්ල වුණා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. එහිදී සිදු කළ විමර්ශනවලදී හෙළි වුණේ අදාළ දුරකතන අංකය අප සමඟ කලක් දේශපාලන කටයුතුවල නිරත වූ අපේ ප්‍රදේශයේම පුද්ගලයකුට අයත් එකක් බවයි.
එම සිම්පත අයිති පුද්ගලයාගේ ඥාතියකු 2024 වසරේදී රිමාන්ඩ් බන්ධනාගාරගත වී තිබෙනවා. අප සමඟ වැඩ කළ පුද්ගලයා විසින් පසුව මෙම සිම්පත බන්ධනාගාරගත වූ තමන්ගේ ඥාතියාට පාවිච්චි කිරීම සඳහා ලබාදී තිබෙනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේදී බලධාරීන් භාරයට ගෙන ඇත්තේ එම සිම්පතයි.”
“2021 වසරේ සිට 2024 දක්වා කාලය තුළ මා සමඟ දේශපාලන කටයුතු කළ පුද්ගලයා මා වෙත ලබාගත් ඇමතුම් පදනම් කරගෙනයි මේ අසත්‍ය චෝදනාව නඟන්නේ. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි පුද්ගලයා කිසිදු අවස්ථාවක මට ඇමතුම් ලබා දී නැහැ. මේ දුරකථන ඇමතුම් ලබාදී ඇති ප්‍රදේශ මොනවාදැයි මා රහස් පොලීසියෙන් විමසුවා.
එහිදී ඔවුන් තහවුරු කළා මේ ඇමතුම් සියල්ල මාලිගාවත්ත හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල දුරකතන කුලුනුවලට සම්බන්ධ වූ ඒවා මිස, වැලිකඩ බන්ධනාගාර කුලුනට සම්බන්ධ වූ ඒවා නොවන බව. ඒ අනුව, මෙම ඇමතුම් ලබාගෙන ඇත්තේ බන්ධනාගාරගතව සිටි පුද්ගලයා නොව, පිටත සිටි අපේ දේශපාලන ක්‍රියාකාරිකයා බව ඉතාම පැහැදිලියි.”

