ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් ලෙබනනයට සටන් විරාමයක්
ලෙබනනයේ යුද ගැටුම් නැවැත්වීම සඳහා වන සටන් විරාමයකට ඊශ්‍රායලය සහ හෙස්බුල්ලා සංවිධානය එකඟවූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල අගමැති සහ හෙස්බුල්ලා සංවිධානයේ නියෝජිතයන් සමඟ දුරකතන ඔස්සේ සාකච්ඡා කිරීමෙන් පසු එම සටන් විරාමයට එකඟතාව පළ වූ බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ ඊශ්‍රායල හමුදාවෙන් ලෙබනනයට එල්ල වන ප්‍රහාර හේතුවෙන් අමෙරිකාව සමඟ සිදු කරන සාම සාකච්ඡා අත්හිටුවන බවට ඉරානය අනතුරු ඇඟවීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායල අගමැතිවරයා සමඟ ඉතා ඵලදායි සංවාදයක නිරත වූ බව සඳහන් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී කිසිදු හමුදා සෙබළකු ලෙබනනය වෙත නොයන බව සහතික කර තිබෙනවා.
ඊශ්‍රායලයට පහර නොදෙන බවට හෙස්බුල්ලා සංවිධානයේ නියෝජිතයන් එකඟතාව පළ කළ බව ද අමෙරිකානු ජනාධීපතිවරයා ප්‍රකාශ කර තිබේ.
දෙපාර්ශ්වය අතර සටන් විරාමය දීර්ඝ කාලීනව පවතිනු ඇතැයි ද ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කර ඇතැයි වාර්තා වේ.

