එක දිගට නටන නයිජීරියානුවා රෝහලේ
නයිජීරියානු නර්තන ශිල්පියකු නව ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් පැය 168ක දීර්ඝ නර්තනයක නිරත වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරනවා.
පසුගිය සැප්තැම්බර් 22 වැනිදා නයිජීරියාවේ ලාගෝස් නුවරදී සිය නර්තනය ආරම්භ කළ 33 හැවිරිදි බෙන්ජමින් ඩැනියෙල් ගේබ්රියෙල් නැමැති මේ නර්තන ශිල්පියා පෙරේදා දක්වා දින7ක් පුරා නොකඩවා නර්තනයේ නිරත වූ බව වාර්තා වේ.
ලාගෝස් නුවර ෆ්රීඩම් පාක් උද්යානයේදී පැවති ඔහුගේ නර්තනය ලෝක වාර්තාවක් පිහිටුවීමට අවශ්ය කාලය පෙරේදා අලුයම 3.00 වන විට සම්පූර්ණ වුවද, ඉන් පසුව ද පැය 9ක කාලසීමාවක් නර්තනයේ නිරතවී තිබෙනවා.
කෙසේ වුවත් ඔහු ශාරිරීකව දැඩි වෙහෙසට පත්වී සිටින බවත්, වෛද්ය පරීක්ෂණයක් සඳහා රෝහලගත කර ඇති බවත් විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරයි.
මීට පෙර 2023 වසරේදී පැය 127ක කාලයක් අඛණ්ඩව නර්තනයේ යෙදුණු ඉන්දීය ජාතික ශ්රුෂ්ති සුධීර් ජග්ටාප් දීර්ඝතම ඒකල නර්තනයේ ගිනස් වාර්තාවට හිමිකම් කියන අතර, නයිජීරියානු ජාතිකයාගේ පැය168ක නර්තනය එම කාලයට වඩා පැය 41ක වැඩි වීමක් බව ද වාර්තා වේ.
නයිජීරියානු ජාතිකයාගේ නර්තනය පිළිබඳ අයැදුම්පත්රය ලැබී ඇති බවත්, එම ලෝක වාර්තාව බිඳ හෙළූ බව තහවුරු කිරීම සඳහා ප්රමාණවත් සාක්ෂි ඉදිරිපත් වනතුරු බලා සිටින බවත් ගිනස් ලෝක වාර්තා සංවිධානය ප්රකාශ කර තිබෙනවා.

