කුසල් ජනිත් පාකිස්තාන ලීග් තරගාවලියට යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ශාරීරික යෝග්‍යතා සහතිකයක් නොමැතිවම පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා කරච්චි බලා පිටත්වගොස් තිබෙනවා.
නිමාවට පත් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සඳහා සලකා බැලීමක් නොකරන බවට තේරීම් කමිටුව දැනුම්දී ඇති බැවින් කුසල් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත් ක්‍රීඩක ලැයිස්තුවෙන් ඉවත්වන බව ද සඳහන් වෙනවා.
එබැවින් ඔහුට යෝග්‍යතා පරීක්ෂණය අදාළ නොවන බව පවසා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්ව තිබෙනවා.
කුසල් පෙරේරා පාකිස්තාන සුපර් ලීගයේ හයිද්‍රාබාද් කිංග්ස්මන් කණ්ඩායමට එක්ව ඇති අතර, එම පිලට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමඟ මානස් ලැබුස්චේන් සහ ග්ලෙන් මැක්ස්වෙල් වැනි විදේශීය ක්‍රිකට් තරු එක්ව සිටිනවා.
අයිපීඑල් හා පීඑස්එල් තරගවලට සහභාගීවීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යෝග්‍යතා සහතික ලබා ගැනීම අනිවාර්ය කොට තිබූ අතර, වනිඳු හසරංග, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ වැනි ක්‍රීඩකයන්ට තවමත් එම යෝග්‍යතා සහතික නිකුත් කොට නොමැත.
කුසල් පෙරේරා පාකිස්තාන සුපර් ලීග් වෙන්දේසියට ඇතුළත් වූ අතර, එහිදී හයිද්‍රාබාද් කිංග්ස්මන් පිල පාකිස්තාන රුපියල් මිලියන 31කට (ශ්‍රී ලංකා රුපියල් මිලියන 35ක්) තෝරා ගත්තා.
2025 වාරයේදී ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා පළමු වරට ක්‍රීඩා කළ අතර, එහිදී ඉනිම හතරක් තුළ අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 170ක් ලබා 56.67ක සාමාන්‍යයක් පවත්වා ගෙන තිබෙනවා.

