අමෙරිකාව යළි ඉරානයට පහර දෙයි
සති පහකට වැඩි කාලයක විරාමයකින් පසු අමෙරිකානු හමුදාවෙන් ඉරානයට යළි ප්රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යුද උණුසුම ව්යාප්ත වී තිබෙනවා.
අමෙරිකානු හමුදාවේ මධ්යම අණදෙන මධ්යස්ථානය ප්රකාශ කර ඇත්තේ හෝමූස් සමුද්ර සන්ධියේ නෞකා යාත්රා කිරීම අවහිර කරමින් ඉරාන හමුදාව මුහුදු බෝම්බ සවි කිරීමට එරෙහිව ඉරානයට අයත් ලරාක් දූපතේ ස්ථාපිත කර ඇති රොකට් විදිනයන් පද්ධති දෙකකට ප්රහාරය එල්ල කළ බවයි.
අමෙරිකාවෙන් ප්රහාරයට ප්රතිචාර ලෙස ඉරාන ආරක්ෂක හමුදාව ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් මිසයිල ප්රහාරයක් එල්ල කර ඇති අතර, ඊයේ උදෑසන ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්රහාර අටක් විනාශ කළ බව ජෝර්දාන හමුදාව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අත්හිටුවූ බව ජූලි මස අගභාගයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කිරීමෙන් පසු අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එල්ල කළ පළමු ප්රහාරය මෙය වන අතර, එම ප්රහාරයෙන් පුද්ගලයන් දෙදෙනකු ජිවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.
අමෙරිකාවට ප්රතිචාර දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්යයේ පිහිටි අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරත් ඉලක්ක කරගත් බව ඉරාන ආරක්ෂක හමුදාව නිවේදනය කළද, එම ප්රකාශය එමිරේට්ස් ආරක්ෂක අමාත්යාංශය ප්රතික්ෂේප කර තිබේ. එහෙත් ඉරාන ඩ්රෝන යානයක් බිම හෙළූ බව එම නිවේදනයේ සඳහන් වී ඇතැයි විදෙස් මාධ්ය සඳහන් කරයි.
ඉරාන මුහුදු තීරයේ බන්දර් අබ්බාස් වරායට ඔබ්බෙන් පිහිටා ඇති ලරාක් දූපත ඉරාන හමුදාවේ තීරණාත්මක ස්ථානයක් බව වාර්තා වේ.

