free web stats

වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය සමූලඝාතනය කරන්න හදනවා

වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සහ ක්‍රමෝපායන් පිළිබඳ අවබෝධයක් හෝ හුරුපුරුද්දක් නොමැති නිසා සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියම සමූලඝාතනය කිරීමට උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේදී සමගි නීතිඥ සංගමයේ සාමාජිකයන් හමු වූ අවස්ථාවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු තුන අතර බලය බෙදී යාම සහ සංවරණ හා තුලන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් වුවද, වත්මන් රජය එම කුළුණු අතර ඇති බලය බෙදීයාම සහමුලින්ම විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව ඔහු වැඩ්දුරටත් සඳහන් කළා.

එක්සත් රාජධානිය වැනි රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වැනි තීරණ ගනු ලැබුවේ වසර දෙකකට වැඩි කාලයක් පුරා පක්ෂ හා විවිධ පාර්ශ්වකරුවන් සමඟ විවෘත සංවාද පවත්වා පොදු එකඟතාවකට පැමිණීමෙන් පසුව බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, මෙරට රජය 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් එවැනි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී හෝ සාමූහික සාකච්ඡා ක්‍රියාවලියක් අනුගමනය නොකළ බවට චෝදනා කළා.

එමෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා ජාති, ආගම්, කුල හෝ පක්ෂ භේදයකින් තොරව රටේ ලක්ෂ 220ක් වූ ජනතාව එකමුතු විය යුතු බවත්, විධායකයේ වගවීම තහවුරු කිරීම සඳහා ගම්, වසම්, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් “ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩප” ස්ථාපිත කළ යුතු බව ව්පක්ෂ නායකවරයා යෝජනා කළා.

මහජන සෛරීත්වය ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයේ සියලු කණ්ඩායම්වලට නායකත්වයදීමට තමන් සූදානම් බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසූවා.

මීට අමතරව, සමගි නීතිඥ සම්මේලනය හරහා නොමිලේ නීති උපදෙස්, ජංගම නීති සේවා සහ නීති සායන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, මූලික හා මානව අයිතිවාසිකම් යන්න දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්වලට පමණක් සීමා නොකර සමාජීය, ආර්ථික හා ආගමික අයිතිවාසිකම් දක්වා පුළුල් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *