සිරදඬුවමකින් පුද්ගලයෙකුගේ නිදහස අහිමි වූවන් ගරුත්වය අහිමි වන්නේ නැහැ
බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කොට එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වම්න් නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ
“සති කිහිපයක් ඇතුළත බන්ධනාගාරයක් තුළ වාර්තා වූ දෙවන ප්‍රධාන නොසන්සුන්තාව මෙයයි. මේවා තවදුරටත් තනි සිදුවීම් ලෙස බැහැර කළ නොහැකියි. මෙය අයහපත් කළමනාකරණය, නොසැලකිලිමත්කම සහ දැඩි පීඩනයකට ලක්ව ඇති බන්ධනාගාර පද්ධතියක සෘජු ප්‍රතිඵලයක්. මෙය තවදුරටත් එක් හුදෙකලා සිදුවීමක් පමණක් නොවේ. මෙයින් පිළිඹිඹු වන්නේ දුර්වල කළමනාකරණය, නිසි නායකත්වයක් නොමැතිවීම සහ පිරිහීමට ඉඩ හැර ඇති බන්ධනාගාර පද්ධතියක ඛේදවාචකයයි.
අප හමුවේ මෙවැනි අර්බුදයක් දිගහැරෙමින් පවතිද්දී පවා, අදටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්නේ ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර නොමැතිවයි. මෙතරම් තීරණාත්මක තනතුරක් සඳහා තවමත් සුදුසු අයකු නිසි පරිදි පත්කර නැහැ. අමතර ආරක්ෂක බළඇණි යෙදවීමෙන් එක් දිනකට තත්ත්වය පාලනය කරගත හැකි වුවද, එයින් ගැටලුව නිරාකරණය වන්නේ නැහැ.
බන්ධනාගාරවල පවතින අධික තදබදය, ප්‍රමාණවත් පහසුකම් නොපැවතීම, අසතුටුදායක සෞඛ්‍ය සේවා සහ අර්ථවත් පුනරුත්ථාපන වැඩපිළිවෙළක් නොමැතිකම පිළිබඳව වහා අවධානය යොමු වියයුතු වෙනවා. සිරදඬුවමකින් පුද්ගලයෙකුගේ නිදහස අහිමි වන නමුත්, ඔහුගේ ගරුත්වය අහිමි වන්නේ නැහැ. ආයතනික වශයෙන් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගතයුතු වෙනවා.”

